18 ජොහන්ගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්වූ හ. එවිට ජොහන් සිය ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා, 19 ”වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ”යි අසනු පිණිස සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් යැවී ය. 20 ඔව්හු උන් වහන්සේ වෙත පැමිණ, ” ‘වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ’යි විමසනු වස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවී ය”යි කී හ. 21 ඒ වේලාවේ දී ම උන් වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර, අශුද්ධාත්ම දුරු කර, අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන් සේක. 22 උන් වහන්සේ උත්තර දෙමින්, ”යන්න, ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න; අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරෝ ඇසීම ලබති, මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ. 23 මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ඔවුන්ට වදාළ සේක.
Queue is empty
-- / --